මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 6, 2026   05:55 am

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (06) දින 38ක් ගත්වී තිබේ. 

-----------------------

Update - 10.13PM

එළැඹෙන බදාදා උදෑසන වන විට ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයට "අපායක්" උදා කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

---------------------

Update - 9.45PM

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ ස්‍රාර්යෙ (Zrarieh) නගරයට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.
----------------------

Update - 8.50PM

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යුද්ධයට විරුද්ධ වන පිරිස මෝඩ ක්‍රියාවක් කරන බවයි.

මෙම යුද්ධය පවතින්නේ එකම එක කරුණක් වෙනුවෙන් බවත්, එනම් "ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොතැබීම" බවත් ඔහු අවධාරණය කළේය.

-----------------------

Update - 8.40PM

ගාසා තීරයේ මගාසි (Maghazi) සරණාගත කඳවුර ආසන්නයේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

----------------------

Update - 8.23PM

යේමනයේ හූති සටන්කාමීන් පවසා ඇත්තේ ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය සමඟ එක්ව ඊශ්‍රායලයේ දකුණු දිග පිහිටි ඊලාත් නගරයට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

----------------------

Update - 8.20PM

ඉරානය තාවකාලික සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරන අතර, ඒ වෙනුවට ඉරානයේ කොන්දේසිවලට ගරු කරමින් යුද්ධය ස්ථිරවම අවසන් කළ යුතු බව අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

-----------------------

Update - 8.03PM

ඉරානයේ බටහිර අසර්බයිජාන් (West Azerbaijan) පළාතේදී පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වීම, බෙදුම්වාදී කණ්ඩායම්වලට සම්බන්ධ වීම හෝ ISILත්‍රස්තවාදීන් සමඟ කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටින අය බව සඳහන් වෙයි.
----------------------

Update - 7.50PM

ඉරානයේ  ටෙහෙරාන් අගනුවර ඇතුළු රට පුරා ස්ථාන කිහිපයකට ඊශ්‍රායල හමුදාව විසින් මහා පරිමාණ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඊශ්‍රායල හමුදාව පවසන පරිදි ඔවුන් ඉරානයේ ගුවන් තොටුපළවල් තුනක් (3) ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත. ඒවා නම් බහ්රම් (Bahram) ගුවන්තොටුපළ, මෙහ්රාබාද් (Mehrabad) ගුවන්තොටුපළ, අස්මායෙෂ් (Azmayesh) ගුවන්තොටුපළ යි.

මෙම ප්‍රහාරයන් මගින් ඉරානයේ හමුදා මධ්‍යස්ථාන සහ යුදමය යටිතල පහසුකම් විනාශ කිරීමට පියවර ගත් බව ඊශ්‍රායලය පවසයි.
------------------------

Update - 7.12PM

යුද්ධය ආරම්භ වූ දා සිට පළමු වරට, මැලේසියාවට අයත් නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කර ඇත.

---------------------

Update - 6.50PM

ඉරාකයේ උතුරු දෙසින් පිහිටි අර්බිල් (Erbil) නගරයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානා හතරක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බව වාර්තා වේ.

-------------------------

Update - 4.15PM

හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය අවදානම මගහැර, ආරක්ෂිතව තෙල් ලබා ගැනීම සඳහා දකුණු කොරියාව සිය නැව් සෞදි අරාබියේ රතු මුහුදේ පිහිටි වරායක් වෙත යැවීමට තීරණය කර ඇත.

-------------------------

Update - 4.14PM

දකුණු ලෙබනනයේදී ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් වෛද්‍ය කණ්ඩායමකට අයත් සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

----------------------

Update - 2.53PM

ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකාව සිදුකරනු ලබන තර්ජන "යුද අපරාධ" ලෙස ඉරානය හඳුන්වා දී ඇති අතර, අම‍ෙරිකාවට සහය දෙන රටවලට ද ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

-----------------------

Update - 2.47PM

ඉරානයේ ට‍ෙහෙරාන් නගරයට එල්ල වූ අම‍ෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ටෙහෙරාන් අගනුවර පිහිටි බහරෙස්තාන් (Baharestan) දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමිනි.

මේ අතර ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 40කට වැඩි ප්‍රමාණයකට සහ ප්‍රදේශයේ නවතා තිබූ වාහන රැසකට දැඩි හානි සිදුවී ඇති බව සඳහන් වෙයි.

----------------------

Update - 2.30PM

කුවේටයේ බුබියන් දූපතේ තිබූ අම‍ෙරිකානු චන්ද්‍රිකා උපකරණ සහ යුද උපකරණ ගබඩා ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
-----------------------

Update - 2.10PM

පකිස්තාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක තාහීර් අන්ද්‍රාබි (Tahir Andrabi) පවසා ඇත්තේ දින 45ක සටන් විරාමයක් හෝ කරුණු 15කින් යුත් එකඟතාවක් පිළිබඳව පළවන වාර්තා තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තමන්ට නොහැකි බවයි.

----------------------

Update - 1.40PM

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ  බුද්ධි අංශ ප්‍රධානී මජිඩ් ඛඩේමි (Majid Khademi) මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

------------------------

Update - 1.37PM

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ බේරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර තිබේ.

--------------------------

Update - 1.03PM

අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් අගනුවර පිහිටි රෝහල් 8ක් සම්පූර්ණයෙන්ම හිස් කර  ඇති බව විදෙස් වාර්තා සඳහන් වෙයි.

ප්‍රහාරවලින් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 54ක්, වෛද්‍ය ඒකක 46ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 216ක් හානියට පත්ව තිබේ.

රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ 41ක් ද මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇත.

-------------------------

Update - 11.20AM

ඊශ්‍රායල හමුදා විසින් සිදුකළ වැටලීම්වලදී පලස්තීන 17 හැවිරිදි පිරිමි ළමයෙකුට වෙඩි තබා ඇති අතර ළමුන් තිදෙනෙකු රඳවාගෙන සිටින බව වාර්තා වේ.

තුවාල ලැබූ එම දරුවා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

-----------------

Update - 11.05AM

ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායල හමුදාව විසින් සාර්ථකව ව්‍යර්ථ කර තිබේ.

-------------------

Update - 10.50AM

දකුණු ලෙබනනයේ Kfar Rumman නගරයට ඊශ්‍රායලය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

-----------------

Update - 10.15AM

ඉරානයේ හිටපු විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ්, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් ලබාදුන් අවසන් නිවේදනය දැඩි ලෙස හෙළා දැක තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, "ඉරානය තමන්ව ආරක්ෂා කරගනු ඇත. නමුත් ඔබේම යහපත සඳහා මෙම අනතුරු ඇඟවීමට සවන් දෙන්න: මෙම ආක්‍රමණය ආරම්භ වූයේ පාසල් ළමුන් 170 දෙනෙකු ඉලක්ක කර ඝාතනය කිරීමේ යුද අපරාධයෙනි'' යනුවෙනි.

---------------------

Update - 09.40AM

ටෙහෙරාන් පළාතේ Baharestan ප්‍රාන්තයේ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයෙන් වයස අවුරුදු 10ට අඩු ගැහැණු ළමයින් සිව් දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

--------------------

Update - 08.40AM

ලෝක අවධානය ඉරානය සමඟ පවතින යුද්ධය වෙත යොමුව තිබියදී ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිය සමූලඝාතන ප්‍රහාර අඛණ්ඩව සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා නගරයේ යර්මුක් ක්‍රීඩාංගනය අසල සිටි සිවිල් වැසියන් පිරිසකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

එසේම, Khan Younis නගරයට දකුණින් පිහිටි Lemon Tree ප්‍රදේශය අසලදී විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකුට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කර තිබේ. 

ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඇති කරගත් සටන් විරාමය යැයි කියනු ලබන කාලසීමාවේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 716 දක්වා ඉහළ ගොස් ඇත.

------------------------

Update - 08.00AM

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ Baharestan දිස්ත්‍රික්කයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 13දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

-----------------------

Update - 07.25AM

ජපානයේ සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළවල් ඉහළ අගයකින් ආරම්භ වී තිබේ.

ජපානයේ ප්‍රධාන Nikkei 225 දර්ශකය 0.45% කින් ඉහළ ගොස් ඇති අතර, දකුණු කොරියාවේ KOSPI දර්ශකය 1.8% කින් පමණ ඉහළ ගොස් ඇත.

ඊට ප්‍රතිවිරුද්ධව, චීනයේ ප්‍රධාන දර්ශක පහත වැටී තිබේ.

-------------------

Update - 07.10AM

ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එලෙසම ප්‍රතිචාර දක්වන බවට ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් අර සිටී.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

"ඉරානයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වුවහොත්, අපිත් එලෙසම ප්‍රතිචාර දක්වන බව අපගේ සන්නද්ධ හමුදාවන් පැහැදිලිවම පවසා තිබෙනවා," යැයි ද එහි සඳහන්.

-----------------------

Update - 06.55AM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ විශ්වවිද්‍යාල, පාසල් සහ පර්යේෂණ මධ්‍යස්ථාන රැසකට හානි සිදුව ඇති බව ඉරානය පවසයි.

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා රට පුරා සිවිල් ස්ථාන 100,000කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන්.

----------------------

Update - 06.20AM

ඉරානයේ Qom නගරයේ ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
----------------------

Update - 5.50AM

දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම බේරූට් නුවර ජ්නා ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

ලෙබනනයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වන ක්‍රිස්තියානි බැතිමතුන් පාස්කු ඉරිදා සමරද්දී, පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී ඇත.